05/10/2021
නිරූපමා ඩොලර් මිලියන 160 ක් හොරෙන් හංගගෙන ඉන්න බව දැන් ඔප්පු වෙලා තියෙනවානේ. ඩොලර් මිලියන 160 ක්, එහෙමත් නැත්නම් රුපියල් බිලියන 35 ක් කිව්වාම ගොඩක් දෙනෙක්ට ඒක කොච්චර ලොකුයිද කියලා තේරුමක් නෑ. ඉතින් හැමෝටම තේරෙන ඉලක්කම්වලින් අපි ඒක යොදාගෙන කරන්න පුළුවන් දේවල් ක් ගැන බලමු. එතකොට තේරෙයි ගැහිල්ලේ තරම.
1. රාජ්‍ය සේවයකයන් හැමෝටම රුපියල් 2000 ගාණෙ අවුරුද්දක් පුරාවට දීමනාවක් දෙන්න පුළුවන්!
ගාණ හදන්න අමාරු නෑ. බිලියන 35 ක් 12 න් බෙදුවාම මිලියන 2916 ක් වගේ එනවා. රාජ්‍ය සේවයකයො ඉන්නෙ ලක්ෂ 14.5 යි. එතකොට 2000 ගාණෙ අවුරුද්දක් පුරා දීලා තව මිලියන 16 ක් ඉතිරිත් වෙනවා.
ඒ ක්‍රමයටම බැලුවොත් ගුරු සේවයේ ඉන්න ලක්ෂ 2.4 ක විතර හැමෝටම මාසෙකට රුපියල් 13000 ක් විතර ගාණෙ අවුරුද්දක් පුරාවට දීමනාවක් දෙන්න පුළුවන්.
2. 5000 නෝට්ටුවලින් ගත්තොත් කන්ටේනර් එකකින් බාගයක් පිරෙනවා!
රුපියල් බිලියන 35 ක් 5000 නෝට්ටුවලින් ගත්තාම නෝට්ටු මිලියන 7 ක්. කන්ටේනර් එකක උස සෙන්ටිමීටර් 239 යි. ඒ උසට ගොඩ ගහන්න පුළුවන් වෙන්නෙ 5000 නෝට්ටු 10,000 ක් වගේ. නෝට්ටු මිලියන 7 ක් වෙන්න නම් ඒ වගේ ගොඩවල් 700 ක් ඕන. කන්ටේනර් එකේ පළල සෙන්ටිමීටර් 235 යි. 5000 නෝට්ටුව සෙන්ටිමීටර් 6.7 ක් පළල නිසා එතකොට හරහට තියන්න පුළුවන් වෙන්නෙ නෝට්ටු ගොඩවල් 35 යි.
මිලියන 7 ක් තියන්න නම් ඒ වගේ සම්පූර්ණ කුට්ටි 20 ක් ඕන. 5000 නෝට්ටුවෙ දිග සෙන්ටිමීටර් 15.3 නිසා එතකොට දිග මීටර් 3.06 ක් වෙනවා. ඒ කියන්නෙ හරියටම අඩි 10 ට වගේ. ඉතින් අඩි 20 කන්ටේනර් එකෙන් හරියටම බාගයක් පිරෙන විදිහට 5000 නෝට්ටු පුරවන්න පුළුවන්.
3. පේදුරු තුඩුවෙ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා එක දිගටම රුපියල් 5000 නෝට්ටු දෙපාරක් එලන්න පුළුවන්!
කිව්වාට විශ්වාස නෑ වගේද? කලින් කිව්වා වගේ බිලියන 35 ඇතුළෙ 5000 නෝට්ටු තියෙනවා මිලියන 7 ක්. 5000 නෝට්ටුවක දිග සෙන්ටිමීටර් 15.3 යි. එතකොට 5000 නෝට්ටු එක පේලියට තිබ්බාම දිග මීටර් 1,071,000 යි. කිලෝමීටර් නම් 1071 යි. පේදුරු තුඩුවෙ ඉඳලා දෙවුන්දර තුඩුවට තියෙන්නෙ කිලෝමීටර් 432 යි. ඉතින් කඳු පල්ලම් බෑවුම් සේරම එක්ක වුණත් දෙපාරක් 5000 නෝට්ටු එලන්න පුළුවන්. තව ඉතිරිත් වෙනවා.
5000 ලොකු වැඩියි නම් 1000 කොළ ගමු. 1000 නෝට්ටුවක දිග සෙන්ටිමීටර් 14.8 යි. ශ්‍රී ලංකාවෙ වෙරළ තීරය කිලෝමීටර් 1340 යි. ඒ නිසා 1000 නෝට්ටු නම් මුළු ශ්‍රී ලංකාව වටේටම 4 පාරක් එළන්න පුළුවන්. (කලින් වගේම ගණනයක්)
4. මුළු ලංකාවටම මාසයක් බත් කන්න තරම් කීරි සම්බා හාල් අරගෙන දෙන්න පුළුවන්. (ඩඩ්ලිගේ ගාණට)
ශ්‍රී ලංකාවෙ ජනගහණය මිලියන 22 ක් වගේ. රටේ වාර්ෂික සහල් පරිභෝජනය එක පුද්ගලයෙක් සඳහා කිලෝග්‍රෑම් 114 ක් විතර කියල දැක්වෙනවා. ඉතින් 12 න් බෙදුවාම මාසෙකට ඕන කිලෝ 9.5 යි. ඒ කියන්නෙ සම්පූර්ණ මිලියන 22 ටම ගත්තොත් හාල් කිලෝ මිලියන 209 යි. ටොන් 209,000 යි.
ඩඩ්ලිගෙ ගාණට ගත්තත් කීරි සම්බා හාල් කිලෝ එකක් වෙන්නෙ රුපියල් 165 යි. එතකොට ටොන් 209,000 ගන්න යන්නෙ රුපියල් බිලියන 34.5 ක් වගේ. තව රුපියල් මිලියන 500 ක් හෙවත් කෝටි 50 ක්ම ඉතිරියි. වැඩියෙන් බත් කන අයට ඒ ටිකෙන් වැඩිපුර හාල් අරන් දෙන්න පුළුවන්.
5. ශ්‍රී ලංකාවෙ පාසල් අධ්‍යාපනය ලබන හැම දරුවෙක්ටම රුපියල් ලක්ෂය ගාණෙ දෙන්න පුළුවන්.
මේ ගාණ නම් හදන්න හරිම ලේසියි. ශ්‍රී ලංකාවෙ ඉන්න අධ්‍යාපනය ලබන සිසුන් ගණන 350,000 විදිහට දැක්වෙනවා. ඉතින් බිලියන 35 ඒ ගාණෙන් බෙදුවාම හරියටම ලක්ෂයයි.
ලක්ෂයකින් කරන්න පුළුවන් දේවල් මොන තරම් තියෙනවාද? කාලෙට ගැළපෙන විදිහට බැලුවොත් හොඳම වර්ගයේ phone එකක් හරි, tab එකක් හරි එක්ක අවුරුදු කීපයක් සඳහා Internet දෙන්න පුළුවන්. සාමාන්‍ය තත්වයේ laptop එකක් ගාණෙ අරගෙන දෙන්න වුණත් පුළුවන්.
BONUS : බංගලාදේශයෙන් ගත්ත සම්පූර්ණ ණයම ගෙවලා දාන්න පුළුවන්.
ඒ පහ මදි වගේ නම් මෙන්න තවත් ලේසි වැඩක්. මතකනේ ළඟදී කවදාවත් නැතිව බංගලාදේශයෙනුත් ණයක් ගත්තා. ඒ ගත්ත ගාණ ඩොලර් මිලියන 150 යි. ඉතින් 160 න් ඒක පොළියත් එක්කම ගෙවලා අහවර කරන්න පුළුවන්. ඩොලර්වලින්ම තියෙන නිසා තවත් ලේසියි.
ඉතින් බලන්න ප්‍රශ්න කොච්චර විසඳන්න පුළුවන්ද කියලා? අපිට ටැක්ස් ගහනවා වෙනුවට නිරූපමා ඇන්ටිගෙන් ඉල්ල ගන්න කියලා බන්දුල අන්කල්ට කියමු. හරි සරලයි.