03/11/2025
නොමග නොයා හරි මග යන්න.
මේ දේවල් හරියටම දැනගෙන එයාපෝට් එකට එන්න 👈
👉 ගුවන්තොටුපොළ තුලදී ඔබට මුණගැසුනු ආගමන විගමන නිලධාරියා යනු කවුද ? 👈
සරළවම කීවොත් ඔහු/ඇය නීතීය ක්‍රියාත්මක කරන නිලධාරියෙකි. (Law Enforcement Officer)
මූලීක වශයෙන්ම 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනතට අදාලව අනුමත තොටුපළකින් රටට ඇතුල්වන හා පිටවන සියලුම මගීන් මෙන්ම ගුවන්යානා / නෞකා කාර්ය මණ්ඩලයද මෙම ආගමන විගමන නිලධාරියා හමුවට පැමිණිය යුතුයි.
එම සියලුම මගීන්ට / කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රටට ඇතුලුවීමට හෝ පිටවීමට ඔහුගෙන් අවසර ලැබිය යුතුයි.
--------------------------------------------------
මෙරටට ගුවන්තොටුපොළ පර්යන්ත වලදී මුණගැහෙන සෑම මගියෙක්ම ඔබ වැනි අව්‍යාජ (Genuine) මගියෙක්ද ?
නැත.
මෙම මගීන් අතර:
ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවන්,
දෙස් විදෙස් මත් ද්‍රව්‍ය ජාවරම්කරුවන්,
නීතියේ රැහැනින් සැඟව සිටින පාතාල ක්‍රියාකාරීන්,
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රටෙන් පිටවූ පුද්ගලයන්,
නීත්‍යනුකූල නොවන ආකාරයට රටට ඇතුළු වීමට උත්සාහ දරණ පුද්ගලයින්,
මිනිස් වෙළදාමට සහ මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව් කරුවන් සහ එහි වින්දිතයින්,
ව්‍යාජ ලිපි ලේඛන සහිත පුද්ගලයන්,
අැතුලු විවිධ ආකාරයේ සාමාන්‍ය නොවන මගීන්ද සිටිය හැක. අපගේ අත්දැකීම් අනුව දෛනිකව එවැනි අවස්ථා කිහිපයකටම අනිවාර්යයෙන්ම අප නිළධාරීන්හට මුහුණ දීමට සිදුවේ.
නමුත් ගුවන්තොටුපොළ තුල නවීන තාක්ෂණය යටතේ කොතෙකුත් පහසුකම් සපයා තිබුනත්, තාක්ෂණික කැමරා හෝ පරිගනක දත්ත පද්ධතිය මගින් ඍජුවම අනාවරණය කරගත නොහැකි මෙවැනි සැකකරුවන් හඳුනාගත හැක්කේ එහි රාජකාරි කටයුතුවල නිරත ආගමන විගමන නිළධාරියාටම පමණි.
මෙහිදී උක්ත තාක්ෂණික මෙවලම් වලට වඩා ආගමන විගමන නිළධාරියාගේ දැනුම, විමසිලිමත්භාවය සහ අත්දැකීම් බහුලත්වය ඉස්මතුවූ අවස්ථා ගුවන්තොටුපොළ රාජකාරී ඉතිහාසය තුල විශාල වශයෙන් දැකිය හැක.
නමුත් මේ සියලුම නිරීක්ෂණ කටයුතු සඳහා රාජකාරියෙහි නිරත ආගමන විගමන නිළධාරියාට ඇත්තේ ඉතාමත්ම සීමිතවූ කාලයකි. ඇතැම්විට එය විනාඩි කිහිපයක් පමණි.
එනම් මගියා ආගමන හෝ විගමන ප්‍රදේශයට පිවිස අදාල පෝලිම හරහා ආගමන හෝ විගමන කවුළුව වෙත පැමිණෙන කාලසීමාව සහ නිශ්කාෂණ කටයුතු වෙනුවෙන් කවුළුව වෙත රැඳීසිටින කාලසීමාව තුලදී මගියාගේ ලියකියවිලි වලට අමතරව ඔවුන්ටම ආවේණිකවූ ක්‍රමවේදයන්ට අනුව තාක්ෂණික මෙවලම් වලින් ඔබ්බට යමින් මගියා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණීමට හැකිවීම ආගමන විගමන නිළධාරියාගේ රාජකාරියේ විශේෂ අවස්ථාවකි.
ඇතැම්විට නිළධාරියාගේ පරිණතභාවය අනුව යමින් ඉහත පරිදි සැකකටයුතු මගියෙකු ලෙස හඳුනාගන්නා ලද ඇතැම් මගීන් පිළිබඳව පසුව කරන ලද වැඩිදුර පරික්ෂා කිරීම් වලදී ඔවුන්ගේ ඇතැම් නීති විරෝධි කටයුතු අනාවරණය වූ අවස්ථා රැසක් පසුගිය දිනවලදීද වාර්ථා විය.
මෙවැනි විශේෂ අවස්ථාවන් වලට උදාහරණ ලෙස, මෑතකාලීනවද නිරන්තරයෙන්ම වාර්තා වූ:
සත්‍ය ලිපිලේඛන පෙන්වා සංචාරය කරන මගීන් සතුව සඟවාගෙන තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා ලේඛන අත්අඩංගුවට ගැනීම්,
තමන්ට අදාල නොවන අයෙකුගේ ලියකියවිලි භාවිතා කිරීමේදී අත්අඩංගුවට ගැනීම්,
සූක්ෂම ලෙස වෙනස් කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියකියවිලි සහිත (රැගෙන යන) මගීන් අත්අඩංගුවට ගැනීම් හදුන්වාදිය හැකියි..
මෙම සියලුම මෙහෙයුම්වල අවසාන ප්‍රතිඵලය වන්නේ මෙරට ජාතික ආරක්ශාව තහවුරු කිරීමත්, දෛනිකව ගුවන්තොටුපොළ භාවිතා කරන සියලුම දෙනාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් පමණක්ම නොව.
ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රීලංකාවේ ගෞරවය තහවුරු කිරීමත්, ශ්‍රීලාංකිකයන් කෙරෙහි වූ විශ්වාසය තව තවත් තහවුරු කිරීමත්ය.
ඉතින්, මේ සියලුම වගකීම් දරන්නේ ආගමන හෝ විගමන කවුළුවේදී ඔබට මුණ ගැසුන, ඔබත් සමග කෙටි පිළිසඳරක නිරතවුන, ඔබගේ ගමන් බලපත්‍රයෙහි මුද්‍රාව තබාදුන් ආගමන විගමන නිළධාරියා විසිනි.
ඇතැම් විටෙක තමා සමග මේ මොහොතේ කතා කරමින් සිටින්නේ, සිනා සෙමින් සිටින්නේ ඊලඟ මොහොතේදී තමා විසින්ම අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයකු බව එම ආගමන විගමන නිළධාරියාද නොදන්නා කරුණක් විය හැකිය.
ඉතිං හැකි සෑම විටම ප්‍රසන්නව ඔබ වෙත කාරුණික සේවාවක් ලබා දීමට කැපවන අතරම තමන්ගේ උපරිම විමසිලිමත්භාවයෙන් යුතුව සිය රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කිරීමට බැදි සිටින ආගමන හා විගමන නිළධාරියෙකු හට ඔබගේ ගමන් බලපත්‍රය scan කර මුද්‍රාව තබා සිනාසීමට බැරි ඇයි දැයි සිතීම වෙනුවට, ඔහු මෙලෙස සුහදත්වයෙන් යුතුව දේශසීමා ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින නිළධාරියකු යන කෝණයෙන් බැලීමද යුක්ති සහගතය
එම නිසා හුදෙක් සුන්දර පිළිගැනිමේ නිලධාරි තරුණියකගෙන් ලැබෙන සත්කාරයට එහා ගොස් "ප්‍රත්‍යන්ත පාලනය" වෙනුවෙන් වගවී සිටින ආගමන විගමන නිළධාරියාට ඔහුගේ රාජකාරිය වෙනුවෙන් ගුවන්තොටුපොළ තුලදී ඔබත් තම උපරිම සහය ලබාදීමට කාරුණික වන්න.
ගුවන්තොටුපොළ තුළ කෙරෙන මෙම වගකීම් සහගත රාජකාරී කටයුතු වලදී ඉතාමත්ම වැදගත් වපසරියක් ආවරණය කරන ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ "දේශසීමා ආවේක්ෂණ ඒකකයේ (Boarder Surveillance Unit)" සුවිශේෂී කාර්යබාරය පිළිබඳව අපි ඉදිරි ලිපියකින් දැනුවත් වෙමු.